විනෝදය වගෙම දැනුමට යමක් ගන්න මෙන්න චමියගෙ ගැජමැටික්

Wednesday, October 31, 2012

රූබික්ස් කැටයක් විසඳමු -02

පළමුවෙන්ම මෙම පෝස්ට් එක දාන්නම් කියපු වෙලාවට දාන්න බැරි උන එකට සමාව අයදිනවා.. හදිසියේම නිවාඩුවක් අරන් ගමේ යන්න සිදු උනානේ........ හරි දැන් එහෙනම් වැඩේට බහිමුකෝ වෙනත් වැල්වටාරම් නැතිව.

රූබික් ඉගෙන ගන්න ආසා කස්ටිය මේ වෙනකොට කැටයක් එහෙම හොයාගෙන බොහොම ලක ලෑස්තියෙන් ඇති කියලා චමියා හිතනවා. එහෙනම් මේක ඉගෙන ගන්න කලින් අපි නිවැරදිව රූබික් කැටයක් භාවිතා කරන ආකාරය සහ ඒහි ස්වභාවය හඳුනාගෙන ඉමු.

රූබික් කැට 3x3x3, 4x4x4, 5x5x5x ආදී වශයෙන් විවිධාකරයෙන් වෙලඳ පොලේ දැකගන්න පුලුවන්. නමුත් සාමාන්‍ය කැටයක් එනම් Standard රූබික් කැටයක් වෙන්නේ 3x3x3 එකයි. ලෝකයේ වැඩියෙන්ම විකිණෙන සෙල්ලම් භාන්ඩය ලෙස සැලකෙන්නෙත් රූබික් කැටයයි. මෙහිදී රූබික්ස් කැටයේ ආරම්භය, එහි වතගොත ගැන කතා නොකර චමියා කෙලින්ම වැඩේට බහින්නම්. මම මෙහිදී කතාකරන්න යන්නේ 3x3x3 කැටයක් හදාගන්න ආකාරය ගැන පමණයි. අනිත් ඒවා ගැන අහලා, මේකට උදැල්ලා දාන්නනම් එපා කියලා චමියා බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද ඒ සම්බන්ධයෙන් කියන්න චමියා දන්නෙත් නෑ....මොකද චමියත් තවම මේ කලාවට බොහොම ආදුනික හැන්චි බච්චෙක්..........

මින් ඉදිරියට මම කතා කරන්නේ 3x3x3 කැටය ගැන පමණක් නිසා "කැටය" ලෙස හඳුන්වනු ලබන්නේ 3x3x3 කැටයක් ගැනයි.

3x3x3 රූබික් කැටයකට මුහුනත් 6 ඇති අතර එම මුහුනත් ප්‍රධාන වශයෙන් රතු, කහ, තැඹිලි, සුදු, කොල සහ නිල් වශයෙන් වර්ණ ගන්වා තියනවා. වෙනත් වර්ණ උනත් තියෙන්න පුලුවන්. නමුත් පිලිගත් ලෙස ඇත්තේ මේ වර්ණ ටික තමයි.

රූබික් කැටයක මුලු වල ඇති කොටස්  corner pieces ලෙස හඳුන්වන අතර කැටයකට මෙම  corner pieces 8ක් ඇත. පහත රූපයේ වර්ණ වලින් දක්වා ඇත්තේ එම කොටස් 8යි.
corner pieces
corner pieces ක් අතර ඇති කොටස්  edge pieces ලෙස හඳුන්වනු ලබන අතර කැටයක edge pieces 12ක් තියනවා. මේ තියන්නේ ඒ ටික.
edge pieces
එක මුහුනතකට එක බැගින් ඇති අනිත් කොටස් හඳුන්වන්නේ centre pieces ලෙසයි. යම්  මුහුනතක වර්ණය තීරණය කරන ප්‍රධාන සාධකය මෙය වන අතර වෙන කුමන කොටසක් මොන අතකට කැරකුවත් වෙනස් නොවන එකම කොටස වන්නේ මෙම centre piece එකයි. එනම් යම් මුහුනතක වර්ණය හඳුනා ගන්නේ මෙම centre piece එකෙන් තමයි.
centre pieces


හරි.. මේ තියන්නේ රූබික් කැටයක මූලික Notation ටික. එහෙමත් නැත්නම් අංකනයන් ටික. මේ ටික නොදැන, මතක තබාගන්නේ නැතිව නම්  රූබික් කැටයක් හදන්න හිතන්නවත් බෑ.


අපි රූබික් කැටයක් අතට ගත්තම අපිට මුහුණලා තියෙන මුහුණත, එනම් අපිට කෙලින්ම ඉදිරියෙන් පෙනෙන මුහුණත Front එහෙමත් නැත්නම් F ලෙස හඳුන්වනවා.

එවිට දකුණු පසින් පිහිටන මුහුණත Right නැතිනම් R ද,
වම් පසින් පිහිටන මුහුණත Left හෝ L ලෙසද,
ඉහලින් පිහිටන මුහුණත Up හෝ  U ලෙසද,
පහලින් පිහිටන මුහුණත Down හො D ලෙසද,
F මුහුණතට විරුද්ධ පැත්තේ මුහුණත Back හෝ B ලෙසද හඳුන්වනවා. මේ ටිකනම් ඉතාමත් වැදගත්.....

ඊලඟ වැදගත්ම කාරණය තමයි අපි මුහුණතක් කරකවන පැත්ත.

උදාහරණයක් විදියට අපි F මුහුණත දක්ෂිණාවර්තව කැරකුවොත්, එහෙමත් නැත්නම් ඔරලෝසු කටු කැරකෙන අතට කැරකුවොත් එය F ලෙස හඳුන්වන අතර වාමාවර්තව කැරකුවොත් එය Fi, නැත්නම් Front inverse ලෙස හඳුන්වනවා.

අනිත් මුහුණත් සියල්ලටම මෙම නීතිය වලංගු වන අතර  ඒ සඳහා තරමක පුහුණුවක් අත්‍යාවශ්‍යයි. එනම් R මුහුණත දක්ෂිණාවර්තව කරකන විට කැරකැවෙන්නේ තමාගෙන් ඉවත දෙසට වුවත් L මුහුණත දක්ෂිණාවර්තව කරකවන විට කැරකැවෙන්නේ තමා දෙසටයි.

මෙය පුහුණු වීමට මේ විදියට කරලා බලන්න. කරකැවිය යුතු මුහුණත තරමක් තමන් දෙසට හරවාගෙන ඊට පසුව දක්ෂිණාවර්තව කරකවා බලන්න. මුලින් උත්සාහ කරලා බලන්නකෝ....

මේ විදියට තමයි මූලික වශයෙන් අපි රූබික් කැටයක් හදන්න ආරම්භ කරන්නේ.

එහෙනම් අපි වැඩේ පටන් ගමු.

රූබික් කැටයක් සෑදීම ආරම්භය තමාට කැමති මුහුණතකින් ආරම්භ කරන්න පුලුවන්. මම ආරම්භ කරන්නේ කොලපාට මුහුණත ඉහලට හරවාගෙන.

පලමු පියවර විදියට අපි හදන්න යන්නේ මෙන්න මේ වගේ සැකසුමක්.....



එහෙනම් කස්ටිය මුලින්ම කොලපාට centre piece එක ඉහලට එන විදියටත් රතු පාට centre piece එක  තමන් දෙසටත් හිටින විදියට හරවා ගන්නකෝ.......

දැන් අපි අපේ ඉලක්කයට යන්නනම් පලමුවෙන්ම කොලපාට සහ රතුපාට  centre pieces දෙක අතරට කොල-රතු තියන edge piece එක ගේන්න වෙනවා....

වීඩියෝ එක බලලා වැඩේ අල්ලගන්නකෝ......



හරි දැන් කස්ටිය එහෙනම් ඉහල රූපයෙ තියන විදියට කොලපාට මුහුණතේ කොලපාට + ලකුණක් හදාගන්න ඕනෙ. ඒත් එක්කම ඒ + ලකුණ හැදෙනකොට වටෙන් තියෙන මුහුණත් වල පාට 2ක් හරියට හැදිලා තියෙන්න ඕනෙ. උත්සාහයක් දරලා බලමු එහෙනම් කස්ටියගේ වැඩ කොහොමද කියලා?...

මේකත් බලන්නකෝ......


 අදට මේ ඇති............ මේ ටික කරලා බලලා වැඩේ අල්ලගෙනම ඉදිරියට යමු.... එතෙක් ඔබට ජය........

Thursday, October 25, 2012

රූබික්ස් කැටයක් විසඳමු - 01

අවුරුද්දකුත් මාස 5 කට පස්සේ නැවතත් බ්ලොග් එක ලියන්න කියලා පුංචි වෙලාවක් වෙන් කරගත්තා........ හැමදාමත් ලියන්න හිතාගෙන හිටියට ලියන්න වෙලාවක් වෙන් කරගන්න එක හරියට මොකක්ද එකාගෙන මොකක්ද එකක් ගන්නවා වගේ වැඩක්........

ගෙවුනු කාලෙ බොහෝ අකරතැබ්බ, සතුටුදායක දේවල් එහෙම හුඟක් සිදු උනා...... ඒවා කියන්න ගියොත් එහෙම ලියල ඉවරයක් කරන්න වෙන්නෙ නෑ..... ඒ නිසා අද අලුත් මාතෘකාවක් පටන් ගමුකො එහෙනම්.....

ඔන්න චමියා රැකියාව එහෙම කරගෙන ඉන්නකොට දවසක් කොලඹ ආනන්ද විද්‍යාලයේ සංවත්සරයක් තිබුනා අනඳ අභිමන් කියලා. ඉතින් ඒකෙ චමියා රැකියාව කරන ආයතනයෙනුත් ස්ටෝල් එකක් දාල තිබුනා. ඒකෙ වැඩ වලට ඉතින් එහෙන් මෙහෙන් චමියත් සහභාගි උනා. ඔය අතරෙ ඒ පාසලේ තිබුන දේවලුත් බලන්න අපේ කස්ටිය ගියා. ඕන්න එහෙම යනකොට අපේ එකෙක් රිංගුවා ඒකෙ තිබුන ස්ටෝල් එකකට. ඒකෙ තිබුනෙ Rubik's Cube (රූබික්ස් කියුබ්) එහෙමත් නැත්නම් රූබික් කැටය විසඳන ආකාරය පිලිබඳ ස්ටෝල් එකක්. ඕක දැකපු අපේ එකාට හෙන ආතල්. ඒකා පහුවදාම MC එකෙන් රූබික් කැටයක් අරන් හදන්න දත කෑවා. ඔය කියන එකාට ලෂාන් චන්දික කියලා තමයි උප්පැන්නේ නම දාලා තියන්නෙ.

මේකා රූබික් කැටේ හදන්න පුදුම දුකක් වින්දා. එත් හරිගියේ නෑ. අන්තිමට මේකා වැඩේ අතහැරලා දැම්මා. ඔන්න ඉතින් ටිකෙක් ටික චමියටත් ඒ ලෙඩේම වැලඳුනා... දැන් ඉතින් චමියගේ වැඩේ රූබික් කැටේ හදාගන්න එකමයි. රාජකාරි වෙලාවෙත් චමියා කරන්නේ කැටේ අල්ලගෙන ඒක විසඳන්න දඟලන එකමයි. අන්තිමට මොකෙක් හරි අලුකුත්තේරුවෙක් එක්කො කැටේ ඉස්සුවා. එහෙමත් නැත්නම් හැංගුවා. චමිය නෙවෙයි ඒකෙන් සැලුනේ. පඩි හම්බුන ගමන් චමියා ගියා MC එකට. සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව ගත්තා හොඳ රූබික් කැටයක්. අන්තිමට කොහොම හරි මාස දෙක හමාරක් දඟලලා දඟලලා චමියා වැඩේ අල්ලා ගත්තා....

ඉතින් චමියට හිතුනා අපේ බ්ලොග් පරිශීලනය කරන අපේ කොල්ලො කෙල්ලන්ට දන්න සිංහලෙන් මේ රූබික් කැටේ හදන්නෙ කොහොමද කියලා උගන්නන්න. අදම ඔක්කොම කියන්න ගියොත් වැඩේ දික්ගැස්සෙන නිසා අදට ඔත්තුවක් දෙන්නම් කරන්න යන වැඩේ ගැන.

රූබික්ස් හදන්න ඉගෙනගන්න ආස අය කැටයක් එහෙම හොයගෙන වැඩේට ලෑස්ස්ති වෙන්නකෝ...........

රූබික් කැට රු. 50 සිට ඉහල මිල ගනන් වලට ගන්න පුලුවන්. මිලදී ගන්න හිතාගෙන ඉන්න අයට කියන්නේ ඒ රු. 50 ට තියන කැටනම් මිලදී ගන්න එපා කියලයි. ඒක නිකන් නමට රූබික් කැටයක් විතරයි. සාමාන්‍ය හොඳ රූබික් කැටයක් රු 350ක් 400ක් විතර වෙනවා. ගන්න පුලුවන්නම් හොද කැටයක් ගන්න. ඒකක් නම් ටිකක් ගනන්.  රු.1500ක් විතර වෙනවා.

මේ තියන්නෙ ඒ මම කියපු තරමක් මිලෙන් අධික රූබික් කැටයක්. මේවා සාමාන්‍ය සෙල්ලම් බඩු වෙලඳ සැල් වලින් මිලදී ගන්න පුලුවන්.

එහෙනම් කස්ටිය රූබික් කැටයක් එහෙම හොයාගෙන වැඩේට ලෑස්ති වෙලා ඉන්නකෝ...... ඊලඟ දවසේ ඉඳලා වැඩේ කරන විදිය ඉගෙන ගමු. එතෙක් ඔබ සැමට ජය.............

Friday, April 1, 2011

උදව්වක් උවමනා කර තිබේ.........(PID Controller)

මේ දිනවල නිදහසක් නොමැතිව වැඩ කරන චමියා ඉතා භයානක, භාරදූර්ය රාජකාරියකට මුල පුරා ඇති බව හිතවත් සියලු දෙනාට මෙයින් දැනුම් දෙමි....................

 දැන් ඉතින් මේකා මොකාටද අඳින්න යන්නෙ කියල කස්ටියට හිතෙනවා ඇති.......... තේරෙන සිංහලෙන්ම කිව්වොත් කතාව මේකයි............. මේ දවස් වල චමියගෙ අධ්‍යාපන වැඩකටයුතු වලට නොදන්නා යමක් හොයාගන්න සිදු වෙලා.............. ඒ තමයි   PID Controller ගැන............   චමියා මේ ගැන google දෙයියන්ගෙන් ඇහුවම උන්නාන්සෙ දෙන උත්තර චමියට තේරෙන්නෙ නෑ...........

 
අන්තර්ජාලේ ඒ ගැන තියන විස්තර තේරුම් ගන්න නම් සියලු වැඩ නවත්තල මුල සිට අග දක්වා ඉංගිරීසි ඉගෙන ගන්න වෙනවා........... ඒ කියන්නෙ pid controller ගැන තියෙන article  වල තියෙන ඉංගිරීසි තේරුම් ගන්න හරි අමාරුයි.........

 අනේ පිං ඇති නෝනාවරුනි, මහත්වරුනි.................................... දන්න කෙනෙක් ඉන්නවානම් මට ඒ ගැන කියලා දෙන්ටකෝ.........................
 පිං අයිති වෙයි..........................
 

 PID Controller ගැන දන්න කෙනෙක් ඉන්නවානම් ඒ ගැන චමියට කියල දෙන්න කියල චමියා බොහොම නිහතමානීව ඉල්ලා සිටිනවා..............

????????????????????????????????????????????????????????????


???????????????????????????????????????

මොනවද අනේ මේවා................ මට එෆා වෙලා අෆ්ෆා............................

Sunday, January 30, 2011

රොබෝ කුරුමිණියා අංක 2

ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ චමියට පුංචි නිදහසක් ලැබුනා බ්ලොග් එක පැත්තෙ කරක් ගහන්න. ඉතින් පොරොන්දු උන විදියටම හදපු කුරුමිණියා ගැන අද කියන්නම්කො.

කලින් කියපු විදියටම ඔන්න රොබෝ තාක්ෂණය ඉගෙන ගන්න ආසාවෙන් චමියා ආවනෙ ඒව උගන්නන තැනට. ඇවිත් ඉතින් බොහොම අමාරුවෙන් අටවගත්ත කුරුමිණියා අපේ ගුරුතුමාට පෙන්නුවා. බොලේ ගුරුතුමාට එක මාර සැටිස්. ඔන්න ඉතින් ඔහොම හොස්ටල් එකට වෙලා ඉන්නකොට ගුරුතුමා කතාකලා. චමියත් ඉතින් ගියා මොකද බලන්න. වැඩේ හරි............ ඇවිත් දවසක් වත් යන්න උනේ නෑ චමියට පැවරුනා මහා භාරධූර කාර්යක්.

ලඟදිම පැවැත්වෙනවා ප්‍රදර්ශනයක්. එකට ඉදිරිපත් කරන්න ඔනේ කියල හදන්න කියාපි කුරුමිණියො 10ක්........... කොලඹ තියනවා කිව්වා ගියර් මෝටර් කියල ජාතියක්. ඒව අරන් හදන්න කිව්වා. දැන් ඉතින් චමියා දහ අතේ කල්පනා කලා, ගියර් මෝටරයකුත් දාලා හදන්නනම් කුරුමිණියා මාර ලොකුවට හදන්න වෙයි කියල. ඇයි ඉතින් මෝටරේට ගියර් සෙට් එකකුත් තියනවනම් ඒක කොච්චර ලොකු වෙන්න ඕනිද නේද?

ඔන්න ඉතින් මෝටර් ගන්න වැඩේ ටිකක් පස්සට දාල අවශ්‍ය වන ඉතුරු බඩු ටික හොයන්න ගත්තා...... ලොකු ලී කෑටි ටිකක්, දැතී රෝද වගේ දේවල් තමා හෙව්වේ.... ගුරුතුමා ආයෙත් කතා කරල ඇහුවා ඇයි ඕවා හොයන්නේ මම කිව්වෙ බැටරි කේස් එකට සෙට් කරන්න කියලනෙ කියල කිව්වා. මලකෙලියයි... බැටරි කේස් එකට හයිකරන්නේ කොහොමද ගියර් මෝටරේ? චමියට මාර ප්‍රශ්නේ......... ඉතින් චමියා ඇහුවා ඔය කියන ගියර් මෝටරේ මොන වගේ එක්ද? එක කොච්චර විතර ලොකු ද කියලා. ඔන්න එතකොට ගුරුතුමා පෙන්නුවා ගියර් මෝටරයක්.

හත්වලාමයි. එක හරියට පෑනක ක්ලිප් එකක් විතර ඇති. එතකොට තමයි චමියට වැඩේ තේරුනේ.......... ඔන්න ඉතින් චමියා කුරුමිණියා හැදුවා. චමියා පුල් හැපී........ එක කිරිටොය්යා වගේ වැඩ.. සතුට කියාගන්න වචන නෑ.......... මේ ඉන්නෙ චමියා හදපු කුරුමිණියා.......




කුරුමිණියා එදා සහ අද............


මෙන්න මෙහෙමයි මේකගේ ගමන...............

Thursday, January 6, 2011

සමාව දෙන සේක්වා......

මේ දින වල ඉතා කාර්යබහුල ජීවිතයක් ගතකරන චමියට කිසිම විවේකයක් නෑ....... කෙටියෙන්ම කියනවනම් කන්න බොන්න, ජුන්ඩක් නිදාගන්නවත් වෙලාවක් නෑ. ඒ නිසා බ්ලොග් එක පැත්තෙ එන්න බැරි උනා....... චමියගෙ ගැජමටික් සමග රැඳී සිටින හැම දෙනාගෙන්ම ඒ පිළිබඳව චමියා සමාව ඉල්ලා සිටිනවා...... ඔන්න වැඩ නොකලත් මුලින්ම හැදුව කුරුමිණියානම් බොහොම හොඳට වැඩිදියුණු කරලා හැදුවා...... ඒ පිලිබඳව විස්තර පසුවට...... චමියගෙ ගැජමටික් සමග දිගටම රැඳී සිටින්න........... වැඩ ගොඩායි...... මට යන්න වෙනෝ............. ඉක්මනටම හමුවෙමු... එතෙක් හැමෝටම ටටා.....................................

Friday, October 29, 2010

රොබෝ කුරුමිණියා

ඔන්න ඉතින් මහා ලොකු වැඩ ගොඩකට පස්සෙ චුට්ටි විවේකයක් ලැබුනා බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්ට. තියෙන විසේට චමියත් ගියානෙ රොබෝ තාක්ෂනේ ඉගෙන ගන්ට.

මෙන්න මේකයි කතාව...

බොහොම ආසාවෙන් ගියා කියමුකො ඉතිං. ගියාම ඉතිං ඔන්න ඒ ගැන විස්තර ටිකක් එහෙම කරලා පුදනකොටම කාපි යකා කිව්ව වගෙ දුන්නනෙ තඩි අසයින්මන්ට් එකක්. මාතෘකා 8 ගැන රිසර්ච් එකක් කරලා ප්‍රසන්ටේෂන් එකකුයි ප්‍රොජෙක්ට් රිපෝට් එකකුයි හදන්ට කිව්වා. එකනම් කමක් නෑ කියමුකෝ. මොකක් හරි කමක් නෑ වැඩ කරන රොබෝවෙකුත් හදන්ට කිව්වනෙ. දවස් පහක් ඇතුලත වැඩේ බාර දෙන්න කියලත් කියාපි........... දැන් මොකක් කරන්ටද? උස්සගෙන ගියපු මලු ඔක්කොම සුම්මලගෙ ගෙදර තියලා (සුම්ම කියන්නෙ චමියගෙ හොඳ යාලුවෙක්) ආව ගෙදර. ඇවිත් රිසර්ච් එක කරල ප්‍රසන්ටේෂන් එකත් හැදුවා. දැන් හදපන්කො රොබෝවෙක්.

කල්පනා සාගරෙ කිමිදිල කිමිදිලා හදන්ට එකක් කල්පනා කලා. ගූගුල් දෙයියන්ගෙනුත් අහල "උඹ බටේ" (YOUTUBE) එක පැත්තෙත් රව්මක් ගහල හදන්ට ගත්තා කුරුමිණියෙක්. කුරුමිනියෙක් කිව්වට ඒක ටිකක් ලොකුයි. දැන් ඉතින් හොයාපන්කො ලොකු දැති රෝදයක්. හැම තැනම හෙව්වා හොයාගන්ට බැරි උනා. අන්තිමට මතක් උනා රේඩියෝ වල මීටරෙ අල්ලන්ට කරකවන කෑල්ලෙ හොඳ දැති රෝදයක් තියනවා කියලා. පරන බඩු දාල තියන ඉස්ටෝරු කාඹරේ රවුමක් යනකොට මෙන්න බොලේ තියනවා පරන රේඩියෝ එකක්. චමියගෙ සතුට ඉහවහා ගියා ඕං... ඉතිං ඕකත් අරන් දූවිලි එහෙම ගසල දාල ගලවලා බැලුවා.  හොඳ වෙලාවට චමියා හිතපු විදියෙ එක්ම ඒකෙ තිබුනා. ඔන්න චමියා වැඩේ පටන් ගත්තා. කපල කොටක අරන් සිලිකොන් ගම් ටිකක් එහෙම ගාල අලවලා, වැඩේ ඉවර වෙනකොට ඊයෙ හවස 6 ට විතර ඇති. වේලෙනකන් කරන්ට දේකුත් නෑ.

ඉතින් ඔන්න අද උදේ ඇහැරල ගිහින් බැලුවා වේලිලද කියලා. කෙලපං තම්බිට හැලප........ ගම් ටික ගාපු විදියට එහෙම්මයි. ගම් එක නරක් වෙලා තිබිල තියන්නෙ. වේලෙන්නෙ නෑ. දැන් අහවල් එකක් කරන්ටද? කල්පනා පාරක් දාල හොයා ගත්තා තඹ කම්බි ටිකක්. වෙලුවා මුලක ඉඳන්. හෆෝයි...... ගාපු ගම් ටික ඇඟ පුරාම ගෑවිලා. බොහොම අමාරුවෙන් අටවලා අටවලා හදාගත්තා. ඒත් ඉතින් ඒක කාටවත් පෙන්නන්න පුලුවන් තත්වෙකනම් නෑ..... බල්ලා බැබිල ගහේ ටී......ක් වගේ. ඔක්කොම හරි කියමුකෝ. ඔන්න ඉතින් බැලන්ස් කරල එහෙන හදල දුන්නා කරන්ට් එක. කිරිටොයියා වගේ වැඩ. බොහොම සන්තෝසෙන් තියල බැලුවා බිම. හුටා........ මේකා යන්නෙ නෑ........ගියර් වීල් සෙට් එකට මේකෙ බර අදින්ට බෑ.  කරන්ට දෙයක් නෑ. වෙන එකක් හදන්ටත් වෙලාවකුත් නෑ. හෙට වෙනකොට ගෙනියන්ටත් ඕනි. ඒ නිසා ලැජ්ජ නහරෙ කපල පැත්තකට දාල හෙට ඒක අරන් යනවා. වෙන දෙයක් වෙච්චාවෙ..........


 මේ ඉන්නෙ මගෙ කුරුමිණියා..............






මේකා බිම තියපුවමනම් වැඩ කරන්නෙ නෑ. කකුල් උඩු අතට තියපුවම වැඩ කරන්නෙ මෙන්න මෙහෙමයි.... එතකොට ඇවිදින විදිය හිතාගන්න පුලුවන්නෙ.............


මොකද හිතෙන්නෙ මගේ කුරුමිණියා ගැන? දාන්ට බලන්ට කමෙන්ටුවක්.............

                                                                                                                                  ලිපියේ අයිතිය චමියට

Sunday, October 17, 2010

ගැජමැටික් අංක 1 හයිඩ්‍රොලික් රැම්(Hydraulic Ram)

හැමෝටම ආයිබොවං කිව්වා ඕං..........

ඔන්න ගෙනාවා චමියගෙ පලවෙනි ගැජමටික් එක. චමියගෙ කිව්වට ඉතිං චමියගෙම නෙවෙයි. ඔන්න ඉතිං කස්ටියටම මතක ඇතිනෙ පහුගිය දවස්වල  පේරාදෙනියෙ විස්සවිජ්ජාලෙ තිබුන EngX 2010 ඉංජිනේරු ප්‍රදර්ශනය. චමියත් ඉතිං ගියා ඕක බලන්ට. මොකද ඉතිං චමියට ඔය ගැජමටික් පේන්ට බෑනෙ. ඉතින් චමියා ප්‍රදර්ශනේ බලාගෙන බලාගෙන යනකොට දැක්කා මරු භාන්ඩයක්. මේක ඉතිං මරු කියන්නෙ විශේෂ හේතුවක් නිසා. 

එහෙනම් කෙලින්ම බහිමුකො මාතෘකාවට.................

Hydraulic Ram එහෙමත් නැත්නම් Hydram කියන්නෙ වතුර වල බලයෙන්ම ක්‍රියා කරන වතුර පොම්පයක්.
අමතර කිසිම බලයක් අවශ්‍ය වෙන්නෙ නෑ ඒකෙ ක්‍රියාකාරිත්වයට. ඒ වගෙම මේකෙන් පුලුවන් ජලාශයේ ජල මට්ටමට වඩා ඉහලට වතුර පොම්ප කරන්න. (ඒකනෙ ඉතිං පොම්පයක් කියන්නෙ නේද?)

මේ තියන්නෙ ඒකක රූපයක්......


මේවා ඉතිං එක එක හැඩ වලට තියෙන්නෙ පුලුවන්. බලලා ඉමුද මේකෙ ක්‍රියාකාරිත්වය කොහොමද කියලා. 


මේකෙ ක්‍රියාකාරිත්වය මේකයි. වතුර ටැප් එකක් එක වරම වැහුවොත් අතරමග වතුර බට කැඩුන අත්දැකීමක් තියෙන අයට නම් මේක හොඳට තේරෙයි. මෙම උපකරණයට යොදාගෙන තියන්නෙත් ඒ සිද්ධාන්තයමයි. 

මෙහි ජල සැපයුම (feed pipe) ඔස්සේ ජලය ගලා විත් ප්‍රධාන කරාමයෙන් (Main valve) ජලය ඉවතට යයි. එවිට එම ඉවත්වන ජල පහරට හසුවන එහි කරාමය වැසෙයි. එවිට ඇතිවන අධික පීඩනය නිසා එම ජල පහර එක විටම ඉහලට ගොස් වායු ටැංකියට පිරෙයි. නමුත් එහිදී ටැංකිය තුල ඇති වාතය ක්ෂනිකව තෙරපීමකට ලක්වෙයි. එහිදී ඇතිවන පීඩනයෙන් ජල පහර නැවත ආපසු පහලට තල්ලු වේ. නමුත් මෙහිදී එක් පසකට පමණක් ජලය ගලන කරාමයක් (check valve) සවි කර ඇති නිසා ජල පහරට ආපසු පහලට ඒමට නොහැකි වේ. මේ නිසා එම ජල පහරට යාමට ඇති එකම මග වන ඉහලට එම ජල පහර තල්ලු වේ. එවිට ප්‍රධාන කරාමය අසල ප්‍රදේශය සාමාන්‍ය පීඩන තත්වයට පත් වේ. එවිට එහි ඇති ස්ප්‍රින්(spring) එක නිසා නැවත ප්‍රධාන කරාමය ඇරෙයි. ආයෙත් පෙර පරිදිම වෙයි............... ඔන්න ඕකයි කතන්දරේ........

නමුත් මෙම උපකරණයේ කාර්යක්ෂමතාවය 10% පමණ කියල තමයි කියන්නෙ...... ඒකට හේතුව වැඩි ප්‍රමාණයක් ජලය ප්‍රධාන කරාමයෙන් ඉවතට යාමයි.

මේක ක්‍රියා කරන විදිය වීඩියෝ එකකින් බලන්න මෙතන ක්ලික් කරන්න.

Hydram එකක් ගෙදරදිම පහසුවෙන්ම හදාගන්න විදිය ඉදිරියෙදි බලාපොරොත්තු වෙන්නකෝ.........

මේක දැකල චමියට ඒ ගැන ආසාවක් හිතුන නිසා ගෙදර ඇවිත් ගූගුල් දෙවියන්ගෙන් අහල තමයි  විස්තර හොයාගත්තෙ. මේ දවස් වල චමියත් එකක් අටවනවා. 

හැබැයි ඉතිං මේක භාවිතා කරන්න පුලුවන් වෙන්නෙ ස්වභාවිකව නොමිලේ වතුර ලබාගන්න පුලුවන් පැත්තක විතරයි............

මේක ගැන තමන්ට හිතෙන ඕනිම දෙයක් කියන්ටකෝ....................