විනෝදය වගෙම දැනුමට යමක් ගන්න මෙන්න චමියගෙ ගැජමැටික්

Friday, October 29, 2010

රොබෝ කුරුමිණියා

ඔන්න ඉතින් මහා ලොකු වැඩ ගොඩකට පස්සෙ චුට්ටි විවේකයක් ලැබුනා බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්ට. තියෙන විසේට චමියත් ගියානෙ රොබෝ තාක්ෂනේ ඉගෙන ගන්ට.

මෙන්න මේකයි කතාව...

බොහොම ආසාවෙන් ගියා කියමුකො ඉතිං. ගියාම ඉතිං ඔන්න ඒ ගැන විස්තර ටිකක් එහෙම කරලා පුදනකොටම කාපි යකා කිව්ව වගෙ දුන්නනෙ තඩි අසයින්මන්ට් එකක්. මාතෘකා 8 ගැන රිසර්ච් එකක් කරලා ප්‍රසන්ටේෂන් එකකුයි ප්‍රොජෙක්ට් රිපෝට් එකකුයි හදන්ට කිව්වා. එකනම් කමක් නෑ කියමුකෝ. මොකක් හරි කමක් නෑ වැඩ කරන රොබෝවෙකුත් හදන්ට කිව්වනෙ. දවස් පහක් ඇතුලත වැඩේ බාර දෙන්න කියලත් කියාපි........... දැන් මොකක් කරන්ටද? උස්සගෙන ගියපු මලු ඔක්කොම සුම්මලගෙ ගෙදර තියලා (සුම්ම කියන්නෙ චමියගෙ හොඳ යාලුවෙක්) ආව ගෙදර. ඇවිත් රිසර්ච් එක කරල ප්‍රසන්ටේෂන් එකත් හැදුවා. දැන් හදපන්කො රොබෝවෙක්.

කල්පනා සාගරෙ කිමිදිල කිමිදිලා හදන්ට එකක් කල්පනා කලා. ගූගුල් දෙයියන්ගෙනුත් අහල "උඹ බටේ" (YOUTUBE) එක පැත්තෙත් රව්මක් ගහල හදන්ට ගත්තා කුරුමිණියෙක්. කුරුමිනියෙක් කිව්වට ඒක ටිකක් ලොකුයි. දැන් ඉතින් හොයාපන්කො ලොකු දැති රෝදයක්. හැම තැනම හෙව්වා හොයාගන්ට බැරි උනා. අන්තිමට මතක් උනා රේඩියෝ වල මීටරෙ අල්ලන්ට කරකවන කෑල්ලෙ හොඳ දැති රෝදයක් තියනවා කියලා. පරන බඩු දාල තියන ඉස්ටෝරු කාඹරේ රවුමක් යනකොට මෙන්න බොලේ තියනවා පරන රේඩියෝ එකක්. චමියගෙ සතුට ඉහවහා ගියා ඕං... ඉතිං ඕකත් අරන් දූවිලි එහෙම ගසල දාල ගලවලා බැලුවා.  හොඳ වෙලාවට චමියා හිතපු විදියෙ එක්ම ඒකෙ තිබුනා. ඔන්න චමියා වැඩේ පටන් ගත්තා. කපල කොටක අරන් සිලිකොන් ගම් ටිකක් එහෙම ගාල අලවලා, වැඩේ ඉවර වෙනකොට ඊයෙ හවස 6 ට විතර ඇති. වේලෙනකන් කරන්ට දේකුත් නෑ.

ඉතින් ඔන්න අද උදේ ඇහැරල ගිහින් බැලුවා වේලිලද කියලා. කෙලපං තම්බිට හැලප........ ගම් ටික ගාපු විදියට එහෙම්මයි. ගම් එක නරක් වෙලා තිබිල තියන්නෙ. වේලෙන්නෙ නෑ. දැන් අහවල් එකක් කරන්ටද? කල්පනා පාරක් දාල හොයා ගත්තා තඹ කම්බි ටිකක්. වෙලුවා මුලක ඉඳන්. හෆෝයි...... ගාපු ගම් ටික ඇඟ පුරාම ගෑවිලා. බොහොම අමාරුවෙන් අටවලා අටවලා හදාගත්තා. ඒත් ඉතින් ඒක කාටවත් පෙන්නන්න පුලුවන් තත්වෙකනම් නෑ..... බල්ලා බැබිල ගහේ ටී......ක් වගේ. ඔක්කොම හරි කියමුකෝ. ඔන්න ඉතින් බැලන්ස් කරල එහෙන හදල දුන්නා කරන්ට් එක. කිරිටොයියා වගේ වැඩ. බොහොම සන්තෝසෙන් තියල බැලුවා බිම. හුටා........ මේකා යන්නෙ නෑ........ගියර් වීල් සෙට් එකට මේකෙ බර අදින්ට බෑ.  කරන්ට දෙයක් නෑ. වෙන එකක් හදන්ටත් වෙලාවකුත් නෑ. හෙට වෙනකොට ගෙනියන්ටත් ඕනි. ඒ නිසා ලැජ්ජ නහරෙ කපල පැත්තකට දාල හෙට ඒක අරන් යනවා. වෙන දෙයක් වෙච්චාවෙ..........


 මේ ඉන්නෙ මගෙ කුරුමිණියා..............






මේකා බිම තියපුවමනම් වැඩ කරන්නෙ නෑ. කකුල් උඩු අතට තියපුවම වැඩ කරන්නෙ මෙන්න මෙහෙමයි.... එතකොට ඇවිදින විදිය හිතාගන්න පුලුවන්නෙ.............


මොකද හිතෙන්නෙ මගේ කුරුමිණියා ගැන? දාන්ට බලන්ට කමෙන්ටුවක්.............

                                                                                                                                  ලිපියේ අයිතිය චමියට

Sunday, October 17, 2010

ගැජමැටික් අංක 1 හයිඩ්‍රොලික් රැම්(Hydraulic Ram)

හැමෝටම ආයිබොවං කිව්වා ඕං..........

ඔන්න ගෙනාවා චමියගෙ පලවෙනි ගැජමටික් එක. චමියගෙ කිව්වට ඉතිං චමියගෙම නෙවෙයි. ඔන්න ඉතිං කස්ටියටම මතක ඇතිනෙ පහුගිය දවස්වල  පේරාදෙනියෙ විස්සවිජ්ජාලෙ තිබුන EngX 2010 ඉංජිනේරු ප්‍රදර්ශනය. චමියත් ඉතිං ගියා ඕක බලන්ට. මොකද ඉතිං චමියට ඔය ගැජමටික් පේන්ට බෑනෙ. ඉතින් චමියා ප්‍රදර්ශනේ බලාගෙන බලාගෙන යනකොට දැක්කා මරු භාන්ඩයක්. මේක ඉතිං මරු කියන්නෙ විශේෂ හේතුවක් නිසා. 

එහෙනම් කෙලින්ම බහිමුකො මාතෘකාවට.................

Hydraulic Ram එහෙමත් නැත්නම් Hydram කියන්නෙ වතුර වල බලයෙන්ම ක්‍රියා කරන වතුර පොම්පයක්.
අමතර කිසිම බලයක් අවශ්‍ය වෙන්නෙ නෑ ඒකෙ ක්‍රියාකාරිත්වයට. ඒ වගෙම මේකෙන් පුලුවන් ජලාශයේ ජල මට්ටමට වඩා ඉහලට වතුර පොම්ප කරන්න. (ඒකනෙ ඉතිං පොම්පයක් කියන්නෙ නේද?)

මේ තියන්නෙ ඒකක රූපයක්......


මේවා ඉතිං එක එක හැඩ වලට තියෙන්නෙ පුලුවන්. බලලා ඉමුද මේකෙ ක්‍රියාකාරිත්වය කොහොමද කියලා. 


මේකෙ ක්‍රියාකාරිත්වය මේකයි. වතුර ටැප් එකක් එක වරම වැහුවොත් අතරමග වතුර බට කැඩුන අත්දැකීමක් තියෙන අයට නම් මේක හොඳට තේරෙයි. මෙම උපකරණයට යොදාගෙන තියන්නෙත් ඒ සිද්ධාන්තයමයි. 

මෙහි ජල සැපයුම (feed pipe) ඔස්සේ ජලය ගලා විත් ප්‍රධාන කරාමයෙන් (Main valve) ජලය ඉවතට යයි. එවිට එම ඉවත්වන ජල පහරට හසුවන එහි කරාමය වැසෙයි. එවිට ඇතිවන අධික පීඩනය නිසා එම ජල පහර එක විටම ඉහලට ගොස් වායු ටැංකියට පිරෙයි. නමුත් එහිදී ටැංකිය තුල ඇති වාතය ක්ෂනිකව තෙරපීමකට ලක්වෙයි. එහිදී ඇතිවන පීඩනයෙන් ජල පහර නැවත ආපසු පහලට තල්ලු වේ. නමුත් මෙහිදී එක් පසකට පමණක් ජලය ගලන කරාමයක් (check valve) සවි කර ඇති නිසා ජල පහරට ආපසු පහලට ඒමට නොහැකි වේ. මේ නිසා එම ජල පහරට යාමට ඇති එකම මග වන ඉහලට එම ජල පහර තල්ලු වේ. එවිට ප්‍රධාන කරාමය අසල ප්‍රදේශය සාමාන්‍ය පීඩන තත්වයට පත් වේ. එවිට එහි ඇති ස්ප්‍රින්(spring) එක නිසා නැවත ප්‍රධාන කරාමය ඇරෙයි. ආයෙත් පෙර පරිදිම වෙයි............... ඔන්න ඕකයි කතන්දරේ........

නමුත් මෙම උපකරණයේ කාර්යක්ෂමතාවය 10% පමණ කියල තමයි කියන්නෙ...... ඒකට හේතුව වැඩි ප්‍රමාණයක් ජලය ප්‍රධාන කරාමයෙන් ඉවතට යාමයි.

මේක ක්‍රියා කරන විදිය වීඩියෝ එකකින් බලන්න මෙතන ක්ලික් කරන්න.

Hydram එකක් ගෙදරදිම පහසුවෙන්ම හදාගන්න විදිය ඉදිරියෙදි බලාපොරොත්තු වෙන්නකෝ.........

මේක දැකල චමියට ඒ ගැන ආසාවක් හිතුන නිසා ගෙදර ඇවිත් ගූගුල් දෙවියන්ගෙන් අහල තමයි  විස්තර හොයාගත්තෙ. මේ දවස් වල චමියත් එකක් අටවනවා. 

හැබැයි ඉතිං මේක භාවිතා කරන්න පුලුවන් වෙන්නෙ ස්වභාවිකව නොමිලේ වතුර ලබාගන්න පුලුවන් පැත්තක විතරයි............

මේක ගැන තමන්ට හිතෙන ඕනිම දෙයක් කියන්ටකෝ....................

Saturday, October 9, 2010

"ට" ටයන්න ගැන කතාවක්

මොකක්ද මේ යන්න?

චමියත් ඉතින් උඩරට කොල්ලෙක්නෙ. චමිය මේක කියන්නෙ බොහොම ආඩම්බරෙන්. ඉතින් චමියට හිතුනා උඩරට මිනිස්සුන්ගෙ ආරට හුරු යන්න ගැන කතාවක් කියන්ට.  උඩරට මිනිස්සු කතාකරනකොට වචනයක් ඉවර කරන්නෙ නන්නෙන් නෙ. ඔයාලට එක තෙරෙනව ඇතිනෙ ටිකක් කතකරනකොට. හරියට මෙන්න මේ වගෙ......

නාන්ට යන්ට එන්ට කියන්ට.............

ඉතින් ඔයාලට මේක කියන්ට හිතුනෙ චමියගෙ ජීවන අත්දැකී එක්කයි. චමියත් ඉතින් උඩ රටට වෙලා ටක ටක ගගා ඉඳල ඔන්න වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට කියලා පල්ලම් බැස්සා ගම්පහ පැත්තට. ඉතිං චමියට යාලුවො ටිකක් එහෙමත් එහෙදි හම්බ උනා. හැබයි ඉතිං හරි ප්‍රශ්නෙ තමයි චමියට උනේ. චමියා විතරයි ඕං උඩරටින් පල්ලම් බැහපු එකෙකුට හිටියෙ. අනිත් අය ඔක්කොම කතා කරන්නෙ යන්නෙන් වචන ඉවර කරලයි. චමිය විතරක් යන්නෙන් කතාකරන්නවා. ඉතින් ඔන්න යාලුවො ටික චමියට විහිලු කරන්න ගත්තා. එත් ඉතිං මොනවා කියල කරන්ටද? චමියා බොහෝම අමාරුවෙන් කට පාලයන කරගෙන යන්නටත් නැතුව යන්නටත් නැතුව අන්තිම ශබ්දය වැඩිය තෙරෙන්නෙ නැති විදියට කතා කරන්ට පුරුදු උනා.

මිනිස්සුන්ගෙ තියන්නෙ අමුතුම ආකල්පනෙ. ඔන්න කොහෙ හරි ඉඳලා ආපු එකෙක් යන්නෙන් කතා කලොත්, යන්නෙන් කතාකරන හරි වැදගත් පොෂ් කියල හිතාගෙන ඉන්න මිනිස්සු ඒකට විහිලු කරනවා, එහෙමත් නැත්නම් ලැජ්ජා කරනවා ගොඩයෙක් කියලා. ඒ වගේම යන්නෙන් කතා කරන එකෙක් උඩරටට ඇවිත් යන්නෙන් කතා කලොත් ඒකට කියනවා, මේකගෙ විච්චූරන, බොරු සෝබන දානව කියලා. ඔන්න ඕකයි අපේ කස්ටියගෙ හැටි.

චමියට ඔය අවස්ථා දෙකටම මුහුන දෙන්ට සිදු උනා. උපන් දා ඉඳල හුරු එහෙමත් නැත්නම් පුරුදු යන්න කියන්ට බෑ කොලඹ පැත්තට ගියොත්. ආයෙත් ගමට ආවම යන්න කියන්න බෑ. ඒ නිසා චමියා දැන් ඒ දෙකටම පුරුදු වෙලා. තැනේ හැටියට යන්තං ඇණේ ගහගන්ට දැන් චමියට පුලුවන්.

ඉතිං චමියා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලන්නෙ කෙනෙක්ගෙ වචන විලාශය නිසා ඒ කෙනාව අපහසු තාවයට පත් කරන්ට එපා කියලයි.  චමියා ඉතිං ඕනි දේකට ඔට්ටු කොල්ලෙක් නිසා වැඩේ ෂේප් උනා. එත් සමහර අය මේ නිසා හුඟක් අපහසුතාවයට පත් වෙනවා. විශේෂයෙන්ම බවලත් උදවිය. එහෙමත් නැත්නම් ගැහැනු අය කියමුකෝ.

චමියා ඉතිං මේ දඟලන්නෙ කොහොම හරි යන්න ටිකක් ප්‍රචලිත කරන්ට. ටැලිවිසොං එකේ අටපට්ටම කරන දඩිබිඩිස් නං ඕං කට ඇරල යන්නෙන් කතා කරනවා. ඒ වගේ කීපදෙනෙක්ම ටැලිවිසොං එකේ ඉන්නවා. ඒ අයට මෙන්න චමියගෙ උපහාරෙ..................... අනිත් අයට නරකක් කියනව කියල වැරදියට තේරුම් ගන්ට එපා ඉතිං හොඳේ..............

චමියා ඉතිං කාටත් හිත හොඳ එකානෙ................



මේ ගැන ඔයාලටත් මොනවහරි හිතෙනවනම් දාන්ටකො බලන්ට කොමෙන්ටුවක්............

Friday, October 8, 2010

එපාම උන දවසක්

මේ දවස් වල චමිය ඉන්නෙ ගෙදරනෙ. අධ්‍යාපන වැඩ වලට පොඩි නිවාඩුවක් හම්බුනානෙ. මේක ඒ දවස් වල චමියට වුනු අකරතැබ්බයක්. ඔන්න චමිය උදේම නගිටල (උදේම කිව්වට 7.30 ට විතර) දත කට මැදගෙන තේ එකක් බීල එහෙම ගියා ගේ වටේ රව්මක්. මෙන්න බොලේ වතුර ටැංකිය පිටාර ගලනවා.(overflow වෙනවා කිව්වනම් තේරෙනවනෙ). චමිය බොහොම අමරුවෙන් වහලෙට නැගල බැලුවා මොකක්ද මේ සීන් කෝන් එක කියලා. බලනකොට ටැංකියේ float valve  එකේ කූර ඇදවෙලා. ඒ නිසා ටැංකිය සීමාව ඉක්මවා පිරිල.

මේ තියන්නෙ ඔය කියපු float valve එකක්. මේකෙ ක්‍රියාකාරිත්වය හිතාගන්න පුලුවන් ඇති කියලා හිතනවා. තේරෙන්නෙ නැත්නම් අහන්නකෝ...........


ඔන්න ඉතින් කොල්ලා ඒ කූර කෙලින් කරන්න ගිහින් කැඩුනනෙ හරි මැදින්ම. ඔන්න ඉතින් ඒ ගැන හිත හදාගෙන එකට පිලියමක් යොදන්නම් කියලා ඉතුරු ටික ගලවන්න පටන් ගත්තා. අනේ අපොයි. ඉතුරු කෑල්ලත් කැඩුනා. මාර අස්පට් එක. කොහොම කොහොම හරි ඒක ගලවගෙන පහලට බහිනකොට පහලිනුත් වතුර ලීක්. (කොල්ලා උඩ ඉඳන් වැඩ දාල ගලවන අතරෙ පහල ජොයින්ට් බුරුල් වෙලා).

 ඔන්න ඔය වෙලාවෙ චමියගෙ අම්මා වැඩ වගයක් කරගන්න town එකට යන්න සූදානම් වෙනව. චමිය කොල කෑල්ලක් අරගෙන එකෙ ලියල දුන්න 1" float valve එකක් ගෙන්න කියලා. එකත් අරන් චමියගෙ අම්මත් ගමන යන්න පිටත් උනා.

ඔන්න ඉතින් චමිය spanner දෙකක් එහෙම අරගෙන ගැලෙව්වා වතුර ලීක් වෙන තැන. ගලවල එතනට tread seal ටිකක් හොඳට ඔතලා ආයෙත් තද කලා ගලවපු non return valve එක.

මේ තියන්නෙ ඔය කියපු එක. මේකෙන් වතුර යන්නෙ එක පැත්තකට විතරයි. ඒකනෙ ඉතින් non return කියන්නෙ නේද...............


අනේ අපොයි. තද කරනකොට කැඩුනා කියමුකො ඒක දෙපැත්තට සවිකරන සොකට් දෙකෙන්  එකකුත්. කැඩුනු කෑල්ල ඔය පේන ත්රෙඩ් එක ඇතුලෙ හිරවෙලා. ඊට පස්සෙ දඬු අඬුවට දාල බොහොම අමාරුවෙන් ඒ කෑලි ටිකත් අයින් කරලා කොල්ල අම්මට ගත්තා දුරකතන ඇමතුමක් (Call එකක් කියල සිංහලෙන් කිව්වනම් තෙරෙනවනෙ).

කෝල් කරල අම්මට කිව්වා 3/4" male threaded socket එකකුත් ඕනි කියලා. හොඳ වෙලාවට කතා කරන වෙලාවෙ අම්ම හිටියෙ හාඩ්වෙයාර් ෂොප් එකේ. 

මාර වැඩේ. මෙන්න බොලේ ගේන්න කියපු float valve එක රුපියල්  1600 ක් ලු. ඒ වෙලාවෙ අම්ම අතේ ඒකට එචර වියදම් කරන්න සල්ලිත් නෑලු. ඊට පස්සෙ චමිය කිව්වා එහෙනම් ඒක එපා,  3/4" male threaded socket එක විතරක් ගේන්න කියලා. 

එහෙම කියලා කොල්ලා කල්පනා කලා දැන් මොකද කරන්නෙ කියලා. ටිකක් එහෙට මෙහෙට ඇවිදිනකොට චමියට හම්බුනා තඹ බට කෑල්ලක්. කොල්ලා මේක අරන් තලලා පොඩිකරලා කපල කොටලා කොහොමහරි හැදුවා කැඩුනු float valve එකේ කූරට හරියන කෑල්ලක්. එක සවිකරලා බැලුවා. වැඩේ ගොඩ. එක තිබුනා වගේම වැඩ. 

ඔන්න ඉතින් කොල්ලා යන්තම් සුසුමක් එහෙම හෙලලා වෙලාව බලනකොට 3.30 ටත් කිට්ටුයි. උදේ 8.00 ට විතර පටන් ගත්තු වැඩේ................

කොල්ලට දැන් හොඳටම බඩගිනි. ඊට පස්සෙ ඕං කකා ඉන්නකොට අම්මත් ආවා. කාලා ඉවරවෙලා ඉතුරු වැඩ ටිකත් ඉවර කරන්නම් කියලා තිතාගෙන අම්ම ගෙනාපු socket එක අතට අරන් බලනකොට.........


හත්වලාමයි...............  3/4" සොකට් එක වෙනුවට අම්මා ගෙනත් තියන්නෙ 1" සොකට් එකක්............

චමියගෙ සයිබර් සම්ප්‍රාප්තිය

ඔන්න ඉතින් චමියටත් හිතුනා බ්ලොග් එකක් ලියන්න. ආ............ පටන් ගන්නකොටම මතක් කරල ඉමුකො කොහොමද චමියට මෙකට හිතක් පහල උනේ කියලා.


ඔන්න දවසක් චමිය ගියා මූනු පොත පැත්තෙ. ඉතින් ඔහෙ එහෙට මෙහෙට වෙවී ඉන්නකොට චමිය දැක්ක යාලුවෙක්ගෙ link ගොඩාරියක් තියනවා. කිව්වෙ නෑනෙ ඉතින් යාලුවා කව්ද කියල. යාලුවා තමයි ඕං අපෙ Confiuzd ප්‍රෝග්‍රැමර්. චමිය සෑහෙන වෙලාවක් බ්ලොග් එක කියෙව්වා. ටිකෙන් ටික ටිකෙන් ටික කියවගෙන කියවගෙන ගිහින් සිංහල බ්ලොග් බර ගානක් කියෙව්ව කියමුකො ඉතිං.


ඔන්න ඔය වෙලාවෙ තමයි චමියටත් හිතුනෙ බ්ලොග් එකක් ලිව්වනම් හොඳයි කියලා. ඔන්න ඉතිං චමිය දවස් දෙකක් විතර කල්පනා කලා මොකක් ගැනද ලියන්නෙ කියලා. එතකොට තමයි කොල්ලට හිතුනෙ තමන් ආසම දේ ගැන ලිව්වනම් හොඳයි කියලා. කිව්වෙ නෑනෙ ඉතිං ආසම දේ මොකක්ද කියලා. කොල්ලා ආසම දේ තමයි මොනවා හරි ගැජමටික් අටවන එක. අටවනවා කිව්වට ඒව ඉතිං කොහෙන් හරි හොයාගන්න එවා තමයි. එහෙනම් ඉතිං ඊලඟ දවසෙ ඉඳල බලමු චමියගෙ ගැජමටික්....


කියන්න අමතක උනා....... සිංහලෙන් බ්ලොග් එක ලියන්න තවත් හේතුවක් උනේ මේ මට හම්බුනු සිංහල යුනොකෝඩ් ලියන සොෆ්ට්වෙයාර් එක. ඒක තමයි Realtime Singlish Beta 3. මේක හැදුවෙ කව්ද කියන්නනම් මම දන්නෙ නෑ. හදපු කෙනා කව්රු උනත් එයාට ගොඩාක් ස්තුති කරන්න ඕනි. ඒක මට දුන්නෙ උදය කුශාන් කොල්ලා........